පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ


පරිගණක භාවිතයේදී එදිනෙදා මතු වන දෝෂ බොහොමයක් පහසුවෙන් හඳුනාගෙන නිරාකරණය කර ගැනීමට පුලුවන් ඒවාය. ඒ සඳහා ක්‍රමවත් අනුපිළිවෙලක් ඔස්සේ පිළියම් යෙදිය යුතුය. මෙය හඳුන්වන්නේ පරිගණකවල දෝෂ සමනය කිරීම (trouble shooting) කියාය.

ඔන්න හැබැයි මම මේක කියල දුන්නට ඔයාලට තියෙන ප්‍රශ්ණ වලට උත්තර තියෙන්නෙ නැති වෙයි. ඉතිං ඒවට මට කරන්නනම් දෙයක් නෑ. මොකද මම හැමෝගේම තියෙන ප්‍රශ්ණ දන්නෙ නෑනේ. අනික මම මේක පොඩ්ඩක් කඩ්ඩෙන් දෙන්නයි යන්නේ හොඳේ!!තව දෙයක්. මම මේක කොටස් දෙකකින් තමා ඔයාලට දෙන්න යන්නේ. එහෙනම් පටං ගමු.
 පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී එහි ඩෙස්ක්ටොප් එක මතුනොවීමේ දෝෂය හෙවත් සුපුරැදු තිරය නොලැබීමේ දෝෂයට පිළියම් යෙදීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙල මෙසේය. මෙම දෝෂ සම්භන්ධයෙන් මූලිකව අවස්ථා තුනක් ඇති වෙන්න පුලුවන්. ඒව තමයි,
     1. සිස්ටම් යුනිට් එක ඔන් නොවේ. මොනිටරයද ඔන් නොවේ.
     2. සිස්ටම් යුනිට් එක ඔන් වේ. මොනිටරය ඔන් නොවේ.
     3. සිස්ටම් යුනිට් එක ඔන් වේ. මොනිටරය ඔන් වේ. එහෙත් ඒවා විවිධ දෝෂ පෙන්වනවා මිස හරි හැටි ක්‍රියා නොකරයි.

සිස්ටම් යුනිට් එකෙහි ඉදිරිපස ඇති එල්ඊඩී(LED) බල්බ් දැල්වේ නම් ඉන් කියවෙන්නේ එයට විදුලිය ලැබෙන බවත් එහි මූලික ක්‍රියා කාරිත්වයන් සිඳුවන බවත්ය. සිස්ටම් යුනිට් එක ඔන් වීම කියා කියන්නේ මෙයයි. මොනිටරයට විදුලිය ලබා දී එය ඉදිරිපස ඇති 'Power On' ස්විචය ක්‍රියාත්මක කල විට එහි ඉදිරිපස ඇති එල්ඊඩී බල්බය (Power LED) දැල්වීමෙන් පෙන්වන්නේ එයට විදුලිය ලැබෙන බවත් එහි මූලික ක්‍රියාකාරිත්වයන් සිඳුවන බවත්ය. මොනිටරය ඔන් වීම කියා කියන්නේ මෙයයි.

සිස්ටම් යුනිට් එකද, මොනිටරයද ඔන් නොවීමට හේතු හා ඒවා සමනය කරගන්නා හැටි
1. පරිගණකයට විදුලිය සපයන කෙවෙනි වල, කේබල්වල දෝෂයක් නිසා එය වෙත විදුලිය නොලැබීම නිසා ඉහත කී දෝෂය මතුවෙන්න පුලුවන්. එම දෝෂණය සමනය කරගැනීමට මෙම පරිගණකයේ පවර් කේබල් වෙනත් උපාංගයකට සවි කර ඒවා හරිහැටි ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න. දැන් කෙවෙනි හෝ මෙම කේබල්වල දෝෂයක් ඇති බව පෙනේ නම් ඒ වෙනුවට වෙනත් ඒවා යොදන්න වෙනවා.

2. පරිගණකය සමඟ UPS (Uninterruped Power Supply {මම දන්න විදිහට}) උපකරණයක් භාවිතා කරන්නේනම් එහි දෝෂයක් නිසා පරිගණකයට විදුලිය නොලැබීමෙන් මෙම දෝෂය මතු වෙන්න පුලුවන්. එය මඟ හරවා ගැනීමට යූපීඑස් එක විසන්ධි කර පරිගණකය කෙලින්ම ප්‍රධාන විදුලියට සම්භන්ධ කර පරීක්ෂා කරන්න. එවිට පරිගණකයේ අඩුම තරමින් සිස්ටම් යුනිට් එක හෝ ඔන් වේනම් දෝෂය ඇත්තේ යූපීඑස් එකේය. නිවසට සැපයෙන ප්‍රධාන විදුලි බල සැපයුුමේ වෝල්ටීයතාවය අඩු වීම නිසාද මුලින් කී දෝෂය ඇතිවිය හැක. රාත්‍රී කාලයට වැඩිවන පරිභෝජනය නිසා හෝ වැසි අකුණු ආදී උපද්‍රවව නිසා විදුලිබල සැපයුම් පද්ධතියට හානිවීම මෙයට හේතුවිය හැකිය. එවිට කල යුත්තේ විදුලි සැපයුම යථා තත්වයට පත්වූ පසු පරිගණකය ක්‍රියාත්මක කිරීමයි.

3. ඉහතින් කී සියලු අවස්ථාවන්වලට අනුවත් දෝෂය සමනය නොවේ නම් දැන් සැක කළ හැක්කේ සිස්ටම් යුනිට් එකෙහි ඇති පවර් සප්ලයි යුනිට් එක සහ මොනිටරය දැවී ගොස් ඇති බවය. දැන් කල යුත්තේ පළපුරැදු කාර්මිකයෙකු ලවා පවර් සප්ලයි එක සහ මොනිටරය අලුත්වැඩියා කරගත යුතුය. නැත්නම් අලුත් ඒවා යෙදිය යුතුය.


සිස්ටම් යුනිට් එක ඔන් වී මොනිටරය ඔන් නොවීමට හේතු හා ඒවා සමනය කිරීම
1. මොනිටරයට විදුලිය නොලැබීම නිසා මොනිටරය ඔන් නොවී තිබිය හැක. විදුලිය සපයන කේබලයේ දෝෂයක් හෝ කෙවෙනියේ දෝෂයක් නිසා මෙය සිඳුවිය හැක. කේබලය වෙනත් උපාංගයකට සම්භන්ධ කර හෝ වෙනත් කේබලයක් වෙනත් කෙවෙනියක් වෙත සම්බන්ධ කර මොනිටරය ඔන් වේදැයි බැලිය හැක.

2. මෙවිටත් දෝෂය පවතීනම් මොනිටරය අක්‍රිය වී ඇති බවට සැක කල හැක. මොනිටරය අක්‍රිය වන්නේ එක්කෝ ප්‍රධාන විදුලි බල සැපයුමේ දෝෂයක් නිසා හෝ අකුණු සැරයක් නිසා මොනිටරය වෙත අධිවේගී වෝල්ටීයතාවයක් ලැබීමෙනි. නැතිනම් මොනිටරයේ අභ්‍යන්තර උපාංග වල දෝෂයක් නිසාය.

3. සිස්ටම් යුනිට් එකට වෙනත් මොනිටරයක් සවිකර බැලූ විට එය ක්‍රියාත්මක වේනම් දැන් නිසැකවම මුලින් තිබූ මොනිටරය අක්‍රිය වී ඇති බව තීරණය කල හැකිය. දැන් කල යුත්තේ අලුත් මොනිටරයක් යෙදීම හෝ දෝෂ සහිත මොනිටරය පලපුරැදු කාර්මිකයෙකු ලවවා අලුත්වැඩියා කරවා ගැනීමයි.


සිස්ටම් යුනිට් එක ඔන් වී මොනිටරය ඔන් වූවත් ඒවා විවිධ දෝෂ පෙන්වීමට හේතු හා ඒවා සමනය කිරීම.
1. මොනිටරයේ දීප්තිය අඩුවී තිබීම - මෙවෙනි අවස්ථාවලදී මොනිටරයේ පවර් බල්බය කොළ පැහැයෙන් දැල්වේ. එය ආරම්භයේදී තැබිලි පැහැ වන අතර කොළ වර්ණයට පත් වන්නේ මොනිටරය වෙත වීඩියෝ සංඥා ලැබේ නම් පමණි. මොනිටරයේ ඉදිරිපස ඇති මොනිටරයේ ගුණ හැසිරවීමේ ස්විච අත්වැරදීමකින් අනවශ්‍ය සැකසුම්වලට යාම නිසා එහි දීප්තිය අඩුවීමත් රෑප නොපෙනී යාමත් සිදුවිය හැකිය. එසේම මොනිටරයේ අභ්‍යන්තර කොටස්වලට දෝෂ නිසාද මෙසේ දීප්තිය නොලැබී යා හැකිය. මෙනිසා මුලින්ම කල යුත්තේ මොනිටරයේ සැකසුම් කල හැකි ස්විච නිසි සැකසුම් වෙත ගෙනෙවිත් බැලීමය. එවිටත් දෝෂය පවතීනම් මොනිටරය දෝෂ සහිත වී ඇත. මෙවිට සිස්ටම් යුනිට් එක සාමාන්‍ය පරිදි බීප් හඩක් සහිතව ක්‍රියාත්මක වී එහි ඉදිරිපස රතු බල්බය මුලින් ටික වේලාවක් කඩින් කඩ දැල්වේනම් මොනිටරය දෝෂ සහිත වී පැවතීමට ඇති ඉඩකඩ වැඩිය. එය තහවුරැ කරගැනීමට වෙනත් මොනිටරයක් පද්ධතියට සවිකර බැලිය හැක. එහිදී මොනිටරයේ දෝෂයක් හඳුනාගතහොත් එය පලපුරැදු ඉලෙක්ට්‍රෝනික උපකරණ අලුත්වැඩියා කරන්නෙකු ලවා අලුත්වැඩියා කරවා ගත හැකිය.

එහෙනම් දෙවෙනි කොටසින් හම්බවෙමු. ඔයාලට උදව්වක් එහෙ උනානනම්, නැත්නම් මේ ගැන ප්‍රශ්ණයක් තියෙනවනම් මට කියන්න. මට පුලුවන් විදිහට උත්තරයක් දෙන්නම්.

Share on Google Plus

4 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.