මොකක්ද මේ 3D TV කියන්නේ?


අද ලිපියෙහි මාතෘකාව වන්නේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පිළිබඳවයි. මේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පාරිභෝගිකයාට මිළඳී ගන්න මුලින්ම වෙළඳපොලට භාණ්ඩයක් වශයෙන් පැමිණියේ 2012 වර්ෂයේදී. මේ 2014 වර්ෂය වෙනකම් ඇවිත් තිබෙන මෙම ත්‍රිමාණ රූපවාහිනී තාක්ෂණයෙන් ඔබට ත්‍රිමාණ දර්ශණයන් දැකගැනීමටනම් ඔබට තවත් එක් උපකරණයක් අවශ්‍ය වනු ඇත. ඒ ත්‍රිමාණ දර්ශණ නැරඹීම සඳහා පමණක්ම ඇති උපැස් යුවලක්.
මෙම රූපයේ දැක්වෙන්නේ ඔබට ත්‍රිමාණ තාක්ෂණය ඇති රූපවාහිනියකින් ත්‍රිමාණ දර්ශණ නැරඹීමට අවශ්‍ය කරන උපැස් යුවලකි.
මෙම ත්‍රිමාණ රූපවාහිනියේ සහ ඔබගේ නිවසෙහි ඇති සාමාණ්‍යය රූපවාහිනියේ වෙනස කුමක්දැයි සමහරවිට ඔබට සිතෙනවා ඇති. ප්‍රධාන වෙනස වනුයේ Stereo-psis (ස්ටෙරීඔෆ්සිස්) දර්ශණය. මෙම ස්ටෙරීඔෆ්සිස් යනු කුමක්දැයි මීට පෙර ලිපියේ පැහැදිලි කර තිබෙනවා. පහළින් එම අදාල ලිපියට පිවිසීමට සබැඳිය එක් කර ඇත.  මිනිසුන් ත්‍රිමාණත්වය දකින්නේ කෙසේද, මෙම දකිනු ලබන ත්‍රිමාණත්වය සැබෑ ත්‍රිමාණත්වයමද, ස්ටෙරීඔෆ්සිස් යනු කුමක්ද යන කරුණු කාරණා පිළිබඳ ඉතා සරලවම එම ලිපියේ ඔබට පැහැදිලි කර දී තිබෙනවා. එම ලිපිය ඔබ මෙම ලිපිය කියවීමට ප්‍රථම කියවනු ලැබුවහොත්, ඔබට මෙම ලිපිය තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. 

මෙම ලිපියට අදාළ සබැඳියන්:-

ස්ටෙරීඔෆ්සිස් දර්ශණය යනු කුමක්ද?
අප මෙම කියනු ලබන ත්‍රිමාණත්වය අපගේ ඇස් දෙකට පෙනෙන්නටනම් යම් වස්තුවක එකිනෙක යම්තාක් දුරකට වෙනස් වූ කෝණ දෙකකින් පින්තූර දෙකක් අපගේ ඇස් වලට වෙන වෙනම වශයෙන් දර්ශණය විය යුතුයි. මෙම ක්‍රියාව ත්‍රිමාණ තාක්ෂණයට පැමිණෙන විට මෙම ත්‍රිමාණ දර්ශණයන් නරඹන උපැස් යුවලට සහ ත්‍රිමාණ දර්ශණයන් පෙන්නුම් කරනු ලබන රූපවාහිනියට යොදාගෙන තිබෙනවා. ඔබට එය පැහැදිලි කරදීම සදහා කෙටි උදාහරණයක් ගෙනඑන්නම්. ඔබ වස්තුවක් දෙස බලාගෙන ඔබේ එක් ඇසක් වසා ගත්විට එම වස්තුව තිබෙන ස්ථානයේ නොවෙයි ඔබේ අනිත් ඇස වසාගත් පසුව තිබෙන්නේ. එම වස්තුව තිබූ ස්ථානයට ටිකක් හෝ එහාට වෙන්නටයි එම අවස්ථාවේ ඔබට එම වස්තුව දර්ශණය වන්නේ. මේ හේතුව නිසාවෙන් ඔබේ නිවසේ ඇති සාමාණ්‍යය රූපවාහිනියෙන් ඔබට පෙන්නුම් කරනුයේ එක් පින්තූරයක් පමණයි. ඒ හේතුව නිසායි අප මේ කතා කරන ත්‍රිමාණත්වය එම සාමාණ්‍යය රූපවාහිනියේ පෙන්නුම් කරනු නොලබන්නේ.

අනිත් කාරණය වනුයේ,  ත්‍රිමාණත්වය  මෙම රූපවාහිනී තාක්ෂණයට පැමිණීමේඳී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක තාක්ෂණයන් යොදා ගැනෙනවා. ඒ,
  1. Active තාක්ෂණය
  2. Passive තාක්ෂණය
යනුවෙනි.  Active (ඇක්ටිව්) කියන නමින් ඔබට තේරෙනවා ඇති මෙහි යම් ක්‍රියාකාරී දෙයක් සිඳුවන බවට. උදාහරණයකට ගතහොත් Sony (සෝනි) සහ Samsung (සැම්සුන්ග්) යන සමාගම් භාවිතා කරනු ලබන්නේ මෙම ඇක්ටිව් තාක්ෂණයයි. LG (එල්ජී) සමාගම පාවිච්චි කරනු ලබන්නේ Passive (පැසිව්) තාක්ෂණයයි.

ඇක්ටිව් තාක්ෂණයෙන් සිඳුවන්නේ, අප පෙර දැනගත් අයුරින් රූප රාමු දෙකක් ඇස් දෙකට ලබාදෙන්න අවශ්‍යයි. එම රූප රාමු දෙක එකම මොහොතේ තිරය මත දිස්වෙන්නේ නැහැ. එම රූපරාමු දෙක පැමිණෙන්නේ එකක් පිටුපස තව එකක් අයුරින්. එවිට එක් වරකට දර්ශණය වනුයේ එක් ඇසකට පමණක් අවශ්‍ය කරනු ලබන රූපරාමුවයි. අනිත් අවස්ථාවේදී දර්ශණය වනුයේ අනිත් ඇසට පමණක් අවශ්‍ය කරනු ලබන රූපරාමුවයි. අපි හිතමු රූපවාහිනිය මඟින් ඊලඟට පැමිණෙන රූපරාමුව දර්ශණය වන මොහොතේ විශේෂ තරංගයක් එල්ල කරනවා කියලා මේ උපැස් යුවලට. අනිත් කාරණය වනුයේ මෙම ඇක්ටිව් තාක්ෂණය භාවිතා වන උපැස් යුවලවල් වල ඉලෙක්ට්‍රෝනික උපකරණයක් සම්බන්ධ වෙලා තිබෙනවා. මේවා හඳුන්වන්නේ Active Shutter Glass (ඇක්ටිව් ෂටර් ග්ලාසස්) යනුවෙනි. 

මෙම රූපයෙහි දැක්වෙන්නේ Active Shutter Glass යන උපැස් යුවලයි.
මෙම ඇක්ටිව් ෂටර් උපැස් යුවල ක්‍රියාත්මක වනුයේ බැටරි බලයෙනි. මෙම උපැස් යුවලෙහි කාචයන් දෙක වැසිය හැකියි යනුවෙන් සිතන්න. එවිට රූපවාහිනිය මඟින් සංඥාවක් ලබා දෙනු ලබනවා දැන් එවනු ලබන්නේ දකුණු කාචයට අයිති දර්ශණය බවට. එවිට උපැස් යුවල අවබෝධ කරගනු ලබනවා මෙම දැන් ලැබෙන දර්ශණය ඇතුලු කරගත යුත්තේ දකුණු කාචයෙන් පමණක් බවට. එවිට එම අවස්ථාවේදී වම් කාචයෙහි පෙනීම නැතිනම් වම් කාචයෙන් දර්ශණය වීම නතර කල යුතුය. ඉන්පසුව අවස්ථාවේදී රූපවාහිනිය විසින් සංඥාවක් ලබා දුන්නහොත් මේ අවස්ථාවේ එවනු ලබනුයේ වම් කාචයට අයිති දර්ශණයක් යනුවෙන්, එවිට උපැස් යුවල එය අවබෝධ කරගෙන වම් කාචයෙන් පමණක් එම දර්ශණය පෙන්නුම් කෙරෙන අයුරින් ක්‍රියාකරනු ලබනවා. මෙම සිඳුවීම අප ඇස් දෙක වරින් වර ඇස්පිල්ලම් ගසනවාක් මෙනි. මේ මඟින් අපගේ ඇස් දෙක තුලට ඇතුලු වනුයේ පින්තූර දෙකකි. මෙම සිඳුවීම ඉතාම කෙටි කාලයක් තුළ විශාල වාරයන් ගණනක් සිඳුවනු ලබනවා. එම සිඳුවීම අපගේ ඇස් තේරුම් ගනු නොලබයි. ඇස් දෙක සිතනු ලබන්නේ එය එක දිගට පැමිණෙන පින්තූරයන් දෙකක් යනුවෙනි. ඒ අනුව ඇස් දෙක දකින්නේ රූපරාමු දෙකක් පමණයි. ඇක්ටිව් තාක්ෂණය යනු මෙයයි. පහත දක්වා ඇති වීඩියෝව බැලීම මඟින් මෙම පැහැදිලි කරනු ලැබූ කරුණු ඔබට තව දුරටත් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.



එසේනම් දැන් Passive (පැසිව්) තාක්ෂණය යනු කුමක්දැයි විපරම් කර බලමු. පෙර පැවසූ ආකාරයෙන්ම එල්ජී ආයතනය විසින් නිර්මාණය කරනු ලබන ත්‍රිමාණ රූපවාහිනියන් පැසිව් තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන රූපවාහිනීයි. පැසිව් තාක්ෂණය වැදගත් වනුයේ එහි ඇති ආලෝකය පෙරා යැවීමේ (Polarizing) හැකියාව නිසාවෙනි. ආලෝකය පෙරා එවනු ලැබූ විට එම පෙරා එවනු ලැබූ කෝණයට අයත් වනු ලබන කාචයට පමණක් එම දර්ශණය දිස් වනු ඇත. උදාහරණයක් ලෙස පැහැදිලි කලහොත්, ආලෝකය පෙරා යම් 'ගැස්සී ගැස්සී' පැමිණෙන කිරණයක් ඇතුලු වන්නේ උපැස් යුවලෙහි ඇති එක් කාචයකට පමණයි. ආලෝකය පෙරා 'සිග් සැග්' අයුරින් පැමිණෙන කිරණක් ඇතුලු වනු ලබන්නේ අනිත් කාචයටයි. එම නිසා මෙම දර්ශණයන් නැරඹීම උදෙසා භාවිතා කරන උපැස් යුවල් වලද භාවිතා වනු ලබන්නේ ආලෝකය පෙරා යැවීමේ හැකියාව තිබෙන අයුරිනි. එමෙන්ම රූපවාහිනී තිරයටද භාවිතා වනුයේ ආලෝකය පෙරා යැවීමේ හැකියාවක් ඇති තිරයකි. මේ පින්තූර දෙක අපගේ ඇසට ලබාදෙන්නේ කෙසේදැයි බලමු.

උදාහරණයක් ලෙස, රූපවාහිනී තිරය කොටස් දෙකකට බෙදනවායි සිතන්න. ඉන්පසුව තිරයෙහි උඩු කොටසෙහි දර්ශණයෙහි ආලෝකය පෙරා එවනු ලබන්නේ ඔබේ එක් ඇසකට පමණයි. එම දර්ශණය ඇතුලු වනුයේ උපැස් යුවලේ එක් කාචයකින් පමණයි. තිරයෙහි යටි කොටසෙහි දර්ණයෙහි ආලෝකය පෙරා දර්ශණය ඇතුලු වනු ලබන්නේ පෙර දර්ශණය ඇතුලු වුන කාචයෙන් නොව අනිත් කාචයෙනි. මෙම දර්ශණයන් ආලෝකය මඟින් පෙරා එවනු ලැබූවන් නිසා ප්‍රතිවිරුද්ධ වශයෙන් උපැස් යුවලෙහි කාචයන් දෙකෙහිම දර්ශණය වෙන්නේ නැහැ. දර්ශණය වන්නේ එම අදාල දර්ශණයට අයිති වන කාචයෙන් පමණයි. තවත් තේරුම් ගැනීමට පහත පින්තූරය බලන්න.


මෙම පින්තූරයේ යටි කොටසින් නිල් පැහැති ඉරක් (අංක 1 යනුවෙන්) ත්‍රිමාණ දර්ශණයන් දැකිය හැකි උපැස් යුවලෙහි ඔබේ වම් පැත්තට වන්නට ඇති කාචයට ගමන් කරනු ලබනවා. ඒ තමයි පෙර සඳහන් කරනු ලැබූ අයුරින් 'තිරයෙහි යටි කොටසෙහි දර්ණයෙහි ආලෝකය පෙරා දර්ශණය ඇතුලු වනු ලබන්නේ පෙර දර්ශණය ඇතුලු වුන කාචයෙන් නොව අනිත් කාචයෙනි' යන්න තේරුම් කල හැකි පහසුම ක්‍රමය. එමෙන්ම, උඩ කොටසින් නිල් පැහැති ඉරක් (අංක 2 යනුවෙන්) ත්‍රිමාණ දර්ශණයන් දැකිය හැකි උපැස් යුවලෙහි ඔබේ දකුණු පැත්තට වන්නට ඇති කාචයට ගමන් කරනු ලබනවා ඔබට දක්නට හැක. ඒ තමයි පෙර සඳහන් කරනු ලැබූ අයුරින් 'තිරයෙහි උඩු කොටසෙහි දර්ශණයෙහි ආලෝකය පෙරා එවනු ලබන්නේ ඔබේ එක් ඇසකට පමණයි. එම දර්ශණය ඇතුලු වනුයේ උපැස් යුවලේ එක් කාචයකින් පමණයි' යන්නෙහි සරලවම තේරුම් කිරීමේ ක්‍රමය.

එමෙන්ම, එම උදාහරණය ගෙනදැක්වූයේ තිරය දෙකට බෙඳීමක් මඟින්. ඔබ සිතන්න මෙම තිරය හීනි පටිවලට බෙදනවා යනුවෙන්. හිතන්න, මෙම තිරය තීරු දෙදාහසකට බෙදනු ලැබුවාක් මෙන්. මෙම තීරු දෙදහසෙන් තීරු දහසක දර්ශණයන් පැමිණෙන්නේ එක් කාචයකට වන අතර අනිත් තීරු දහසෙහි දර්ශණයන් ලැබෙන්නේ අනිත් කාචයටයි. මෙහීදි එවිට අපේ එක් ඇසකට අවශ්‍ය කරනු ලබන රූපය වෙනමත්, අනිත් ඇසට අවශ්‍ය කරන රූපය වෙනමත් ඇතුලු කරනු ලබනවා. පැසිව් තාක්ෂණයේදී ඒ අයුරින් තමයි රූපරාමු දෙකක් ඇස් දෙකට එවනු ලබන්නේ. පැසිව් තාක්ෂණය තවත් තේරුම් ගැනීමට පහත දක්වා ඇති වීඩියෝව බලන්න.




මේ පිළිබඳව තවත් තේරුම් ගැනීමට පහත දක්වා ඇති වීඩියෝද නරඹන්න.






දැන් අප බලමු මෙම ත්‍රිමාණ රූපවාහිනියෙන් අප සිතන අයුරින්ම ත්‍රිමාණ රූප දර්ශණය වෙනවාද කියා. සැබවින්ම මගේ මතයට අනුවනම් මෙම 3D සංකල්පය බොහෝදුරට ගැලපෙන දෙයක් නෙමෙයි. උදාහරණ  වශයෙන් මම කරුණු කිහිපයක් පැහැදිලි කරන්නම් එයට හේතුව කුමක්ද කියලා.


ඉහත පින්තූරයෙහි 3D උපැස් යුවල දැමීමට පෙර පෙනෙන අයුරු යන පින්තූරය දෙස බලන්න. මෙම පින්තූරය ත්‍රිමාණ උපැස් යුවලක් භාවිතා කර අඩි අටක පමණ පරතරයක සිට බැලූ විට සැබවින්ම පෙනෙනු ලබන්නේ මෙම කාඩ්පත අඩි හතරක් පමණක් ඉඳිරියට පැමිණ ඇති දර්ශණයකි. නමුත් හිතන්න, අඩි හතරක් පමණ ඉදිරියට මෙම කාඩ්පත දර්ශණය වූවත් මේ මොහොතේදී මෙම කාඩ්පතෙහි උඩු කොටසක් රූපවාහිනියේ බද පටියෙහි කොටසකට කැපෙනවා/ ඡේදනය වනු ලබනවා. 3D උපැස් යුවල දැමීමට පසු පෙනෙන අයුරු යන පින්තූරය බලන්න. ඔබට මතක ඇති පෙර ලිපිය කියවූවානම්,  Overlap (ඕවර්ලැප්) වීම මත, එනම් වස්තූන් එකිනෙක මත ඡේදනය වීමේදී අපගේ මොළය තේරුම් ගනු ලබනවා කුමන වස්තුද ඉදිරියෙන් ඇත්තේ සහ කුමන වස්තුවද පිටුපසින් ඇත්තේ යනුවෙන්. එම කාරණය මෙම ත්‍රිමාණත්වය තේරුම් ගැනීමේදී එක් සාධකයක් වනු ලබනවා. එවිට මෙම අවස්ථාව එම සාධකයන්ට පටහැනියි. හේතුව, මෙම කාඩ් පත අඩි හරතක් පමණ ඉදිරියට ඇවිත් ඇති ආකාරයෙන් දර්ශණය වූවාට එක් මොහොතක එම කාඩ්පතෙහි උඩ කොටස ඡේදනය වූවහොත් රූපවාහිනියේ බදෙහි පටියට, එහිදී එසැනින්ම අපගේ ත්‍රිමාණත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන අවස්ථාවක් වනු ලබනවා. හේතුව, යම්කිසි වස්තුක් තවත් වස්තුවකට වඩා ඉස්සරහින් ඇතිනම්, පිටුපස ඇති වස්තුව මඟින් මෙම ඉඳිරියෙන් ඇති වස්තුව ඡේදනය වන්නට හැකියාවක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී ඉදිරියෙන් තිබෙන කාඩ්පත පිටුපසින් ඇති බද පටියෙන් ඡේදනය වීම නිසා මොළය විසින් මෙය ටිකක් අවුල් සහගත තත්වයක් බවට පත්කරනු ලබනවා. මෙම කාරණය එක් සාධකයක් වනු ලබනවා 3D TV සංකල්පය නොගැලපීමට. නමුත් මෙය විශාල චිත්‍රපටි ශාලාවක (I-MAX වැනි), ත්‍රිමාණ චිත්‍රපටි පමණක් පෙන්වනු ලබන ශාලාවක බැලුවහොත් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත. ඒ එහි අතිවිශාල තිරයන් භාවිතා කරන බැවිනි.

දෙවෙනි කාරණය, බොහෝ වේලාවට ත්‍රිමාණ චිත්‍රපටි බලන විටදී මෙම චිත්‍රපටියේ ඇති එක් එක් වස්තූන් තිරයෙන් ඉඳිරියට පැමිණෙන අවස්ථා දක්නට ලැබෙනවා. නැතිනම් සමහර වෙලාවට තිරයෙන් පිටුපසට යනු දක්නට ලැබෙනවා. 3D යනුවෙන් කෙටියෙන්ම හැඳින්විය හැක්කේ ඔය විදිහට කියලත් වක්‍රාකාරව කියන්නට හැකියි. සමහර චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන අය ඔවුන්ට ඕන ඕන විදිහට මෙම අවකාශ්‍ය තුල එක එක වස්තූන් එහාට මෙහාට ගෙනියනු ලබනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් පහත පින්තූරය බලන්න.
 මොහොතකට හිතන්න මේ ඉහතින් දක්වා ඇති පින්තූරයේ දිස්වනු ලබන්නේ මාලු ටැංකියක් යනුවෙන්. මේ ත්‍රිමාණ සංකල්පයේදී සමහරවෙලාවට මේ ටැංකිය ඇතුලේ සිටින මාලු ටැංකියෙන් එහෙමත් නැත්නම් මෙම ත්‍රිමාණ රූප දර්ශණය කරවන තිරයෙන් එලියට පීනගෙන එනු ලබනවා. නමුත් අප උදාහරණයකට ගතහොත්, අප මාලු ටැංකියක් දෙම බැලුවහොත් එම මාලු ටැංකිය තුල මාලු සිටියත් වීදුරුවෙන් එලියට ඔවුන්ට පීනාගෙන එන්නට හැකියාවක් නැහැ. එම නිසා සමහර අවස්ථාවන් වලදී අපේ තිබෙන අත්දැකීම් සමඟින් මෙම ත්‍රිමාණ දර්ශණයන් නරඹන විට ඔබටම විටක මෙය ත්‍රිමාණත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක් යනුවෙන් සිතෙනු ඇත. එයද මෙම 3D TV සංකල්පය නොගැලපෙන බවට තර්ක කල හැකි තවත් අවස්ථාවක්.
තෙවනි අවස්ථාව ලෙස ඉහත රූපය දෙස බලන්න. සැබවින්ම මෙම රූපය ත්‍රිමාණ රූපයක් නොවෙයි. මෙහි ඇත්තේ ඉරි කැබලි කිහිපයක් පමනි. නමුත් අපගේ අත්දැකීම් වලට අනුව, අප මේ ආකාරයේ රූප මීට පෙර දැක ඇති නිසා, අපි දැක ඇති පැරණි රූපත් සමඟින් ගලපා මෙම රූපය ත්‍රිමාණ රූපයක් ලෙස අපට දර්ශණය කරනු ලබනවා. මෙන්න මේ දේ මෙම ත්‍රිමාණ රූපවාහිනියටත් වලංගු වනු ලබනවා.

උදාහරණයක් ලෙස ගතහොත්, හිතන්න ඔබ මුහුදු වෙරළක් අයිනට යනු ලබනවා කියා. ඔබ එතනට ගොස් වටපිටාව බැලූවිට ඔබට වම් පැත්තෙන් සහ දකුනු පැත්තෙන් බොහෝ දුරක් දර්ශණය වන අතරම, ඉඳිරියෙන් මුහුද අනන්තය දක්වාම ඔබට දර්ශණය වනු ලබනවා. දැන් ඔය දර්ශණය ත්‍රිමාණ රූපවාහිනියකට යෙදෙව්වායැයි සිතමු. එවිටත් ත්‍රිමාණ රූපවාහිනියෙන් ඉතාමත් පැහැදිලිව මුහුද ත්‍රිමාණ ලෙස ඔබට දර්ශණය වනු ලබනවා. ගැඹුර වාගේම අනන්තය දක්වාම ඔබ සජීවීව එම ස්ථානයේ සිටින්නාක් මෙන් ඔබට දර්ශණය වනු බලනවා. නමුත් රූපවාහිනියේදී ඔබට වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් පෙනෙනුයේ සීමාසහිත කොටසක් පමණයි. ඔබේ ත්‍රිමාණ රූපවාහිනිය අඟල් පනහක තිරයක් ඇති එකක්නම්, එම අඟල් පනහක සීමාව පමණයි ඔබට දර්ශණය වනු ලබන්නේ. එතනින් එහාට වන්නට සමහර විට ඔබේ බිත්තිය හෝ ඒ පිටුපසින් ඇති යම්කිසි වස්තූන් ඔබට දර්ශණය වනු ලබනවා. අප මුහුදක් දෙස බලද්දී යම් කිසි රාමුවකට කොටුවෙලා එතනින් එහාට වෙනම වස්තූන් දිස්වෙනවනම් එය යම්තාක් දුරකට කැලබිලි සහගත දෙයක්. මෙයත් 3D TV සංකල්පය නොගැලපෙන යන මතයට තවත් සාධකයක්.

කෙසේ වූවත්, පෙර පැවසූ ආකාරයෙන් යම් යම් හේතු සාධක කිහිපයක්ම තියෙනවා මෙම ත්‍රිමාණ රූපවාහිනියන් ගැලපෙන්නේ නැතිබවට මත ඉඳිරිපත් කරන්නට. මට හැඟෙන අයුරින් මම 3D TV යන සංකල්පය හොඳ සංකල්පයක් නොවෙයි. නමුත් අත්දැකීමක් ලබාගන්නටනම් මෙම සංකල්පය ඉතාමත් හොඳයි. සමහරවිට ඉඳිරියේදී මෙය තවත් දියුණු තත්වයකට පත්වේවි. මේ තිබෙන වැරදි, තාක්ෂණික දෝෂ යටපත් කරගෙන ගුණවත් ත්‍රිමාණ දර්ශණයන් නැරඹිය හැකි රූපවාහීනී හෝ උපකරණයන් සෑදේවි.

මෙම ලිපියෙන් මට හැකි අයුරින් සරළවම මේ 3D TV (ත්‍රිමාණ රූපවාහිනී) යනු කුමක්දැයි පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඔබට මේ පිළිබඳව තවත් දැනගැනීමට අවශ්‍යනම් මම භාවිතා කරනු ලැබූ සබැඳි කිහිපයක් පහතින් ඔබට ලබා දෙන්නම්.

How 3-D TV Works
 • Link 1

Active Shutter 3D Technology for HDTV
 • Link 1
 • Link 2

More companies, such as Sony, Panasonic and Philips, are joining LG in launching more passive 3D TVs.
 • Link 1

Active 3D vs. Passive 3D
 • Link 1
 • Link 2
 • Link 3

Polarized 3D system 
 • Link 1


මීළඟ ලිපියෙන් GPS ක්‍රියාත්මක වන අයුරු පැහිදිලි කරන්නම්.




What is this 3D TV?
powered by - VideoKatha
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

3 comments:

  1. ත්‍රිමාණ රූප රූපවාහිනී ගැන මතුපිටික් පමණක් දැන සිටි කරුණු මේ තරම් පැහැදිලි ව දැන ගත්තෙ අද..
    බොහොමත් ම ස්තූතියි..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරවට සර්!

      Delete
  2. ගොඩක් ස්තුතියි මචන් Anaglyph 3D ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මේ ලිපියෙන් ගොඩක දේවල් දැනගත්තා රතු නිල් පාට තියෙන ග්ලාස් වලින් එතරම්ම කොලිටියක් ගන්න බැරි ඇයි කියන එක මට තියෙන පොඩි ප්‍රශ්නයක් !! ඉතින් ආයෙත් ගොඩක් ස්තුතියි මේ විස්තරයට

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.